[පුවත්] සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ යාවත්කාලීන කිරීමක්

රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒතකය විසින් නිකුත් කරන ලද නිවේදනයක්,

ප්‍රථමයෙන් දැනුම් දී ඇති පරිදි සිංහල බ්ලොග්කරණ තරගාවලිය වෙත ඇතුළත් කරගැනීම සඳහා ලබාදුන් දින කාල සීමාව 2010/10/25 දින අවසන් වන නමුත්, බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි අවසන් දිනය 2010/11/01 දින දක්වා දීර්ඝ කෙරෙනු ඇති. එමෙන්ම සිංහල බ්ලොග්කරණ තරගාවලියට ඉල්ලුම් කළ නමුත්, ඇතුළත් කරගත් බවට තවමත් ඔබට දන්වා නොමැති නම් ඒ පිළිබඳව බිය විය යුතු නැහැ. ඔබගේ ඉල්ලීම ඉතාමත් ඉක්මනින් සපුරාලනු ඇති.

ළඟ ළඟම එන “අසෙනිය කුසුම” කලා උළෙල නිසාවෙන් බොහෝ කාර්ය බහුල තත්වයක වන නිසාවෙන් ප්‍රතිචාර දින කිහිපයක් පමාවනු ඇති.

සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය මෙවරත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් දරනු ලබන අතර, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සිය සම්පත් දායකත්වය මෙම තරගාවලියට සපයනු ලබයි.

සිංහල බ්ලොග්කරණ තරගාවලියෙන් ජයග්‍රහණය ලබන බ්ලොග්කරුවන් වෙනුවෙන් ත්‍යාග වශයෙන් ජීවිත කාලය පුරාම නොමිලේ වෙබ් ඉඩ සැපයීමට eWebLK ආයතනය ඉදිරිපත් වී ඇත.

විවෘත අංශයෙන්, නැණසල අංශයෙන් සහ පාසල් අංශයෙන් තේරීපත්වන හොඳම බ්ලොග් අඩවිය වෙනුවෙන්, එම බ්ලොග් අඩවිය පවත්වාගෙන යාම සඳහා නොමිලේ ඩොමේන් නාමයක් සමඟ ජීවිත කාලය පුරා සීමා රහිත වෙබ් ඉඩ හිමිවනු ඇති.

එමෙන්ම,

  • හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය.
  • හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය.
  • හොඳම සාහිත්‍යමය බ්ලොග් අඩවිය.
  • හොඳම තාක්ෂණිකමය බ්ලොග් අඩවිය.
  • හොඳම කාලීන සිදුවීම් බ්ලොග් අඩවිය.
  • හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය

යන අංශ වලින් ජයග්‍රහණය ලබන බ්ලොග් අඩවි වෙතත් තමන්ගේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යාම සඳහා ජීවිත කාලය පුරාම නොමිලේ වෙබ් ඉඩ හිමිවනු ඇත.