කුමුදු ලාල් පින්තු මහතාගේ අභාවය පිලිබඳව අපගේ සාතිශය සංවේගය පලකරමු

ඉංජිනේරුවකු, දහස් සංඛ්‍යාත සිසු පිරිසක් බිහිකල කෘතහස්ත ගුරුවරයකු මෙන්ම සිංහල බ්ලොග්කරුවකු වූ කුමුදු ලාල් පින්තු මහතා ඊයේ අභාවප්‍රාප්ත විය. එතුමාගේ නික්ම යෑම පිලිබඳව සියලු සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාතිශය සංවේගය මෙසේ පලකර සිටින්නෙමු.

එතුමා ලියූ බ්ලොග් අඩවිය වන “තම තම නැණ පමණ“ වෙත පහත යොමුවෙන් පිවිසිය හැකිය.

http://kumudupinto.wordpress.com/

දේහය තැන්පත් කර ඇති එතුමාගේ කොළොන්නාවේ නිවසට යන මාර්ගය පහත සිතියමේ දැක්වේ.

Update:
කුමුදු ලාල් පින්තු මහතාගේ දේහය පිලිබඳව අවසන් කටයුතු 28 වැනි බදාදා සවස කොලොන්නාව පොදු සුසාන භූමියේදී පැවැත්වෙනු ඇත.

[නිවේදන] පරිපාලකයන්ගේ නමින් යෙදෙන ව්‍යාජ ප්‍රතිචාර

දැනට සති කීපයක සිට විවිධ බ්ලොග් වල, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ පරිපාලකයන්ගේ නම් වලින් වෙනත් පුද්ගලයන් විසින් කමෙන්ට් දමමින් සංසදයේ පරිපාලනමය තීරණ පිලිබඳ වැරදි මත පතුරවන බව ආරංචි වී ඇත.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ පරිපාලනයම තීරණ පිලිබඳ කිසිදු පරිපාලකයකු විසින් බ්ලොග් අඩවි වල කමෙන්ට් හරහා පිලිතුරු දෙනු නොලබන අතර ඒ පිලිබඳව පරිපාලකයන්ගේ මතය ප්‍රකාශ වනුයේ පරිපාලක වරුන් (admin[at]sinhalabloggers[dot]com) හා ඔබ අතර හුවමාරු වන විද්‍යුත් ලිපි වල හෝ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ගූග්ල් සමූහයේ ලිපි තුල පමණි.

යම් බ්ලොග් අඩවියක අප පරිපාලකයකුගේ නමින් පලවූ, සංසදයේ තීරණ හෝ නීති රීති පිලිබඳ අර්ථ දැක්වීම් අඩංගු කමෙන්ටුවක් වේ නම් එය බොහෝ විට වෙනත් පුද්ගලයකු යෙදූ ව්‍යාජ කමෙන්ටුවක් විය හැකිය. එබඳු කමෙන්ටු වල අඩංගු දේ සම්බන්ධයෙන් සංසදය වගකීමට බැඳී නොසිටී. කෙසේ වෙතත් ඔබට එම කමෙන්ටු සම්බන්ධයෙන් යම් සැකයක් ඇත්නම් පරිපාලකයන්ගෙන් ඒ සම්බන්ධයෙන් විමසා සිටීම වඩාත් සුදුසුය.

සිංහල ලිපි සඳහා වෙනම පෝෂකයක් (feed) සකස් කරමු

අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය නැංවීමට ආධාර උපකාර සැපයීම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ප්‍රධානතම අරමුණු වලින් එකක්. සිංහල බ්ලොග් කියවනය පවත්වාගෙන යන්නේ මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් බ්ලොග්කරුවන්ට ලබා දෙන එක් පහසුකමක් ලෙසයි. සිංහල බ්ලොග් කියවනය තුළ මේ වන විට බ්ලොග් අඩවි අටසියයකට අධික ප්‍රමාණයක් සින්ඩිකේට් වෙනවා.

සිංහල බ්ලොග් කියවනය තුළ ඉඩකඩ ලබා දෙන්නේ සිංහලෙන් ලියනු ලබන බ්ලොග් අඩවි සඳහා පමණයි. නමුත්, සිංහල හැර වෙනත් භාෂා වලින් ද ලේඛණ කටයුතු වල නියැලෙන බ්ලොග්කරුවන්ගේ පහසුව තකා යම් සහනයක් ලෙස බහුභාෂා බ්ලොග් අඩවි ද සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කර ගනු ලබනවා.  නමුත් මෙහිදී ඔබ විසින් සිංහල ලිපි සඳහා වෙනම RSS පෝෂකයක් (Feed) ලබාදිය යුතු වෙනවා.

මේ “වෙනම RSS පෝෂක” සකස් කරගන්නා ආකාරය සමහර අයට ගැටළු සහගත කාරණාවක්. මේ නිසා ඔබේ පහසුව තකා අපි සිංහල ලිපි සඳහා වෙනම පෝෂකයක් සාදා ගන්නා ආකාරය අපගේ නිළ බ්ලොග් අඩවිය හරහා ඉදිරිපත් කරන්නට අදහස් කළා.  දැනට වැඩිපුරම භාවිත වන ප්‍රධාන පෙළේ බ්ලොග්කරණ සේවා දෙකක් වන Blogger හා WordPress සම්බන්ධයෙන් මෙය සිදු කරගන්නා අකාරය අපි මෙහි වෙන වෙනම ඉදිරිපත් කරනවා.

Blogger සඳහා:
Google මගින් ලබා දෙන බ්ලොග්කරණ සේවාව වන Blogger හි සිංහල ලිපි සඳහා වෙනම RSS පෝෂකයක් ලබා දීම සඳහා අපට එහි ලේබල (Labels) භාවිත කළ හැකියි. මේ සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න.
1. ඔබ විසින් සිංහලෙන් ලියනු ලබන සෑම බ්ලොග් ලිපියකදීම, ‘සිංහල‘ යන වදන ලේබලයක් ලෙස එකතු කරන්න. (මෙහිදී ‘සිංහල‘ යන්න හැර වෙනත් ඕනෑම වදනක් වුවත් භාවිත කළ හැකියි [උදා: 'si']. මෙය අවශ්‍ය වන්නේ සිංහල ලිපි හඳුනාගැනීම සඳහා පමණයි.)
* මෙහිදී ඔබ විසින් එම Labels කොටුවේ දැනටමත් යමක් සඳහන් කර ඇත්නම්, එහි අගට කොමාවක් යොදා ‘සිංහල‘ යයි සඳහන් කරන්න.

බ්ලොගර් ලේබල

ඔබ විසින් සිංහලෙන් ලියනු ලබන සෑම ලිපියකම ලේබල යටතේ මේ ‘සිංහල‘ යන්න සටහන් කළ යුතුයි (මෙය පහසුවෙන් කිරීම සඳහා රූපසටහනේ රතු පැහැයෙන් සලකුණු කර ඇති Show all සබැඳිය මගින් හැකියි). එවිට එම ලිපිය ස්වයංක්‍රීයවම සිංහල ලිපි සඳහා විශේෂිත පෝෂකය වෙත එකතු වෙනවා.

2. දැන් ඔබේ සිංහල ලිපි සඳහා අදාළ පෝෂකය සොයා ගනිමු. මේ සඳහා ඉහත කී ලේබලය යටතේ ඔබ විසින් අවම වශයෙන් එක් ලිපියක් හෝ පළ කොට තිබිය යුතුයි. පහත දැක්වෙන ආකෘතියට අනුව ඔබේ සිංහල ලිපි සඳහා පෝෂකය සටහන් කරගන්න. (මෙහි YOURBLOG.blogspot.com වෙනුවට ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය ආදේශ කරගන්න)

http://YOURBLOG.blogspot.com/feeds/posts/default/-/සිංහල


WordPress සඳහා:
Wordpress හිදී අපට ප්‍රවර්ග (categories) හෝ හැඳුනුම්කාරක/ ටැග (tags) භාවිත කළ හැකියි. ප්‍රවර්ග, නැවත උප ප්‍රවර්ග වලට බෙදිය හැකියි. ටැග, බොහෝ දුරට Google Blogger හි ඇති ලේබල අංගය හා සමානයි. ඔබේ අවශ්‍යතාව අනුව වඩාත් සුදුසු ප්‍රවර්ග භාවිතයද නැත්නම් ටැග භාවිතයද යන්න පළමුව තීරණය කරගන්න.

ප්‍රවර්ග සඳහා:
1. WordPress හි නව ලිපියක් ලියන කවුළුවේ දකුණු පස මඳක් පහළට වෙන්නට ඇති Categories කොටුව සොයා ගන්න.

2. මෙයින් ඔබට රිසි පරිදි නව ප්‍රවර්ගයක් එකතු කළ හැකියි. උදාහරණයක් ලෙස, ඔබ තැනූ නව ප්‍රවර්ගය ‘සිංහල‘ නම් ඊට අදාළ වන පෝෂක ලිපිනය පහත පරිදි වෙයි.

http://YOURBLOG.wordpress.com/category/සිංහල/feed/

3. සිංහල ලිපියක් ලියන සෑම අවස්ථාවකදීම මෙම ප්‍රවර්ගයට ඔබ විසින් සලකුණු කළ යුතු වෙයි (රූපසටහන බලන්න). සිංහල ලිපි සඳහා වන පෝෂකයට ඔබේ ලිපිය එක් වන්නේ එවිටයි.

ටැග සඳහා:

1. ඉහත සඳහන් කළ Categories කොටුවට පහළින් ඇති Post Tags කොටුව සොයා ගන්න.

2. ඔබට රිසි පරිදි නව ටැගයක් මෙයින් එක් කළ හැකියි. ඔබේ නව ටැගය ‘සිංහල‘ නම්, ඊට අදාළ පෝෂක ලිපිනය පහත පරිදි වෙයි.

http://YOURBLOG.wordpress.com/tag/සිංහල/feed/

ඔබේ බ්ලොග් අඩවියේ සිංහල හැර වෙනත් භාෂා වලින් ද ලිපි පළ කෙරෙන්නේ නම්, සිංහල බ්ලොග් කියවනය වෙත ඔබේ බ්ලොග් අඩවිය යොමු කිරීමේ දී ඔබේ සිංහල ලිපි ලේබලයට/ ප්‍රවර්ගයට/ ටැගයට අදාළ වෙබ් පෝෂක ලිපිනය අප වෙත ලබා දෙන්න.

මෙම ලිපියේ යම් කිසි අපැහැදිලි තැනක් වේ නම් සිංහල බ්ලොග්කරුවන්ගේ ගුග්ල් සමූහයෙහි ඒ පිළිබඳව සාකච්ඡා කළ හැකියි.

ආශ්‍රිත ලිපි:
Feed පිලිබඳව සරලව
සිංහල බ්ලොග් කියවනය » ඔබේ බ්ලොග් අඩවියත් එකතුකරන්න

බාහිර සබැඳි:
Categories vs. Tags « Support — WordPress.com
Add Feeds to Blogger labels
Web feed – Wikipedia, the free encyclopedia

සටහන:
සිංහල අන්තර්ගතය යන්නෙන් අපි අදහස් කරන්නේ සිංහල යුනිකෝඩ් අකුරින් ලියූ අන්තර්ගතයයි. ලතින් නොවන අක්ෂරමාලා (non-Latin script) සඳහා ජාත්‍යන්තර සම්මතය වන යුනිකෝඩ් හි ප්‍රවර්ධනය තොරතුරු තාක්ෂණ යුගයේ සිංහල භාෂාවේ තිරසාර පැවැත්ම තහවුරු කිරීමෙහි ලා විශාල පිටිවහලක් වන බව අප හඳුනාගත්තේ මීට බොහෝ කලකට පෙර යි.

SBU වෙත එල්ලවන කුමන්ත්‍රණ චෝදනා පිලිබඳව අපගේ විරෝධය

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සංවිධානය කරනු ලබන සිංහල බ්ලොග් මැරතන් පිලිබඳව දිනය සම්මතයකට පැමිණ ස්වල්ප දිනකට පසුව “ලාංකීය සිතුවිලි” බ්ලොග් කියවනයේ ඇඩ්මින් කෙනෙකු වන වැප් නිශාන්ත මහතා විසින් කාලිංගගේ පෞද්ගලික ඊමේල් ලිපිනයට ලිපියක් එවමින් විමසා සිටියේ මැරතන් අවස්ථාව තම බ්ලොග් කියවනයේද සින්ඩිකේට් කිරීමට ඉඩ ලබාදෙන ලෙසයි. මෙතෙක් එවැන්නක් සිදුකර නැති හා එය නිල ඉල්ලීමක් නොවූනමුත් ලාංකීය සිතුවිලි හා අප අතර ඇති සුහදතාවය මත ඒ සඳහා අප විසින් එකඟතාවය පල කරන ලදී.

අවුරුදු නිවාඩුවෙන් පසුව කාටත් ඇතිවූ වැඩ රාජකාරි අධික තත්වය තුල මැරතන් සින්ඩිය නිර්මාණය කිරීමේ කටයුතු අප විසින් නිම කරනු ලැබුවේද මැරතන් දින (24) සවස්  වන විටය. ගූග්ල් සමූහයේද මැරතන් පිලිබඳව අප විසින් කිසිදු සඳහනක් කරනු නොලැබුවේ මෙම අවිවේකී තත්වය තුලය. මේ නිසා ලාංකීය සිතුවිලි ‍සොයුරන් වෙත මැරතන් බ්ලොග් වල ෆීඩ් එක ලබාදීමද ප්‍රමාද විය.

මේ සිදුවීම හුවා දක්වමින් අද දින මැරතන් අතරතුර චතුරංග රූපසිංහ නම් ලාංකීය සිතුවිලි වලට සම්බන්ධ පුද්ගලයකු විසින් ලියූ ලිපියක සඳහන් වනුයේ අප විසින් ඔවුන්ගේ මැරතන් විකාශය කඩාකප්පල් කිරීම සඳහා සිදුකල කුමන්ත්‍රණයක් බවය.

කුමන්ත්‍රණ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, ලාංකීය සිතුවිලි විසින් මැරතන් බ්ලොග් අඩවි සින්ඩිකේට් කිරීමට අප නොකැමති නම් අපට කලයුතුව තිබුනේ ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂෙප කිරීම බවත් කිව යුතුය. මැරතන් අවස්ථාව සංවිධානය කරන්නේ අප විසින් වන බැවින් ඒ සඳහා අප හට අයිතියක් ඇත. පෞද්ගලික ඉල්ලීමක් මත වුවද අප විසින් ඒ සඳහා අනුමැතිය පල කලේ “මනුස්සකම” නිසා මිස වෙනත් යමක් නිසා නොවේ. එම මනුස්සකම වෙනුවෙන් අප අපට හැකි ආකාරයට ඔවුන් හා සහයෝගයෙන් ක්‍රියා කිරීමට කටයුතු කරන ලදී.

චතුරංග රූපසිංහ නැමැත්තා එය තම පුද්ගලික අදහසක් ලෙස හුවාදක්වන්නට උත්සාහ කරත් එය ලියා ඇති ස්වරූපයෙන් අපට හැඟීයන්නේ එය ලාංකීය සිතුවිලි හා සම්බන්ධ හැමගේ අදහසක් ලෙසිනි. මෙවැන්නක් අප කිසිදිනෙක ලාංකීය සිතුවිලි වෙතින් බලාපොරොත්තු නොවූයෙමු. අපට පෙනී යන ආකාරයට ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ ඔවුන් පුන පුනා කියන ආකාරයට “SBU සමග සහයෝගීත්වයෙන් වැඩකිරීම” නොව “SBU වලට කෙළවීම” බවය. තම අඩවියේ හිට්ස් වැඩිකරගැනීමට මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා චතුරංග වැනි පටු අදහස් ඇති පුද්ගලයන් ලාංකීය සිතුවිලි සමග සිටීම කෙරෙහි කණගාටුව ප්‍රකාශ කරමු.

යම්හෙයකින් චතුරංග විසින් සිදුකරන ලද මෙම ක්‍රියාවට ලාංකීය සිතුවිලි හි අනෙකුත් වගකිවයුත්තන් සම්බන්ධ නැතිනම් අපට කීමට ඇත්තේ චතුරංග වැනි වගකීමක් නැතිව ක්‍රියාකරන පුද්ගලයන් නිසා ඔබේ අඩවියට සිදුවන හානිය අතිමහත් බවය.

2010 සිංහල බ්ලොග් මැරතන් අදයි

ඔබ මෙතෙක් දවස් පුල පුලා බලා සිටි සිංහල බ්ලොග් (මිනි) මැරතන් ඉසවුව අද (24) රාත්‍රී 8 සිට හෙට (25) උදෑසන 8 දක්වා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්. මේ සැරසෙන්නේ මැරතන් ඉසවුව හා සම්බන්ධ වැදගත් නිවේදන කීපයක් නිකුත් කිරීම සඳහායි.

  • ඉසවුව නැරඹීමට එක්වන අයට ඒ අවස්ථාව වන විට http://marathon.sinhalabloggers.com ලිපිනයේ ඇති මැරතන් සින්ඩිකේටරය හරහා එය නැරඹිය හැකියි.
  • සජීවී රේඩියෝවට සවන්දීමට හා චැට් කාමරය සඳහා එක්වීමට http://techkatha.com/chat/ වෙත යන්න.
  • චැට් සඳහා password අනවශ්‍යයි. ඔබට කැමති nickname එකක් පමණක් ලබාදී Connect එබීම සෑහේ.
  • සජීවී රේඩියෝව (වෙබ් පිටුවේදී නොව) ඔබේ ප්‍රියතම මීඩියා ප්ලේයරයෙන් ඇසීමට කැමති අය පමණක්, Windows Media Player සඳහා මෙම ගොනුවද, Winamp, iTunes, VLC, jetAudio, Totem හෝ වෙනත් ප්ලේයර සඳහා මෙම ගොනුවද බාගත කරගෙන අදාල ප්ලේයරයෙන් විවෘත කරගත හැකියි. (අනිත් අයට වෙබ් පිටුව තුලින්ම රේඩියෝවට සවන් දිය හැකියි)
  • චැට් කිරීම සඳහා වෙබ් පිටුව නොව IRC client software එකක් භාවිතා කරන අය පමණක් ඒ සඳහා මෙම විස්තර යොදාගන්න. (අනිත් අයට වෙබ් පිටුව තුලදී කිසිදු අවහිරයකින් තොරව චැට් කාමරය වෙත එක්විය හැකියි)
    • IRC Server: irc.geekshed.net
    • Channel: #techkatha

මැරතන් සින්ඩිකේටරය, සජීවී රේඩියෝව මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවත්, එය ආරම්භ වන්නේද ඉසවුවේ ආරම්භය සමගම බවත් කරුණාවෙන් සලකන්න. මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් ඇතිවේනම් වහාම admin[at]snhalabloggers[dot]com ඊමේලය හරහා අප අමතන්න.

මැරතන් ඉසවුව සඳහා මේ වන විට සහභාගී වන බ්ලොග් අඩවි/නම් මෙසේයි. මැරතන් සඳහා ලියාපදිංචි කර ගැනීම අද සවස 6න් අවසන් වන නිසා ඔබ මැරතන් දිවීමට බලාපොරොත්තු වනවානම්, තවමත් මැරතන් සඳහා ලියාපදිංචි වී නැත්නම් දැන්ම ලියාපදිංචි වන්න.

  • පබලු
  • මලින්ත
  • ප්‍රභාෂ් රාජරත්න
  • Anything & Everything
  • සමීර ශාකුන්තල
  • දමිත් : Lahiru
  • ලක්ෂික ගයාල්
  • මාධව හබරකඩ
  • බිඟුවා…!
  • ප්‍රසාද් රණතුංග
  • තරිඳු
  • දේවා
  • සජීව විජේවීර
  • S.D.Buthpitiya
  • අමිල ඩිලංක
  • Confiuzd ප්‍රෝග්‍රැමර්
  • sohan sanju gamlath
  • ජේ.ඩී
  • madhu weerakoon
  • අරුනෝද සුසිරිපාල
  • සුපුන් සුදාරක
  • Ushan Pushpakumara
  • මැර-සහන්
  • නෙරංජි සුලක්ඛනා ඒකනායක
  • තීර්ථ යාත්‍රකයා
  • Namal wickramasinghe
  • අරුනෝද සුසිරිපාල
  • තමීර සේනානායක
  • ASHAN
  • ඉදුනිල් රංග
  • chandima
  • අනුරාධ ජයතිලක
  • gevidu guththika
  • චරිත දිසානායක
  • දුටුගැමුණු
  • දිනුෂ්ක උදාර | රොකියා
  • hemantha samarakoon
  • රනා
  • Dinithi
  • Poornima Wanasinghe
  • ප්‍රභෘෂ්වර
  • සසිත් නුවන්ත
  • කතන්දරකාරයා
  • chathur
  • nish
  • අනුරාධා නවරත්න
  • Chrishan jayakody
  • Dinithi
  • යසිත් මියුරංග
  • ඉෂාන් තිළිණ
  • සු
  • Thilina
  • lilani piyarathana
  • weer
  • රන්දිකා රණවීර

එසේනම් මැරතන් ඉසවුව සමග අද රාත්‍රී 8ට හමුවෙමු.

සුබ අලුත් අවුරුද්දක් වේවා!

සාමයෙන් සහෝදරත්වයෙන් එකිනෙකා බැඳෙන
බත බුලතින් සපිරි සෞභාග්‍යමත් සමයක
වැඩි වැඩියෙන් සිංහල බ්ලොග් ලියැවෙන
සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි
ඔබ සැම වෙත ප්‍රාර්ථනා කර සිටිමු

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

සිංහල බ්ලොග් මැරතන් 2010

ඔබ මෙතෙක් දිනක් නොඉවසිල්ලෙන් බලාසිටි 2010 වසරේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුව ප්‍රකාශයට පත් කිරීමටයි මේ සැරසෙන්නේ.

2010 සිංහල බ්ලොග් මිනි මැරතන් ඉසවුව

2010 අප්‍රේල් 24 සෙනසුරාදා

අපර භාග 8 සිට

2010 අප්‍රේල් 25 ඉරිදා

පූර්ව භාග 8 දක්වා

පුරා පැය 12ක්

සයිබර් අවකාශය තුල පැවැත්වෙන බව මෙයින් දන්වා සිටිමු.

මැරතන් ඉසවුව තුල අප විසින් ඔබ වෙත ගෙන එන විශේෂාංග,

1. මැරතන් දුවන අයව නැරඹීම සඳහා මැරතන් සින්ඩිකේටරය (මෙය වෙත http://marathon.sinhalabloggers.com ලිපිනයෙන් පිවිසිය හැකියි. තවමත් විවෘත කර නැති මෙය විවෘත කරනු ලබන්නේ මැරතන් ආරම්භක අවස්ථාවේදීය)

2. දෙළොස් පැය පුරා සජීවී අන්තර්ජාල රේඩියෝ විකාශය – මෙහිදී සිංදු, Techකතා, රසාංග, සම්මුඛ සාකච්ඡා, විහිලු, බයිට්, ආදි සෑමදෙයක්ම ඔබ වෙත ගෙන එනු ලබයි.

3. දෙළොස් පැය පුරා IRC Chat කාමරය – මැරතන් දුවන, නරඹන හැමෝටම කතාබහ කරන්නට.

මැරතන් දිවීම සඳහා සහභාගී වන අය සඳහා,

ඔබේ බ්ලොග් අඩවියේ බ්ලොග් මැරතන් බැනරය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වෙනවා.

22kb | jpg

මේ සඳහා කේතය මෙසේයි,

ඉන්පසුව ඔබේ බ්ලොග් එක මැරතන් ඉසවුව සඳහා ඉල්ලුම් කල හැකියි.

ඔබේ බ්ලොග් අඩවිය මෙම පෝර්මය හරහා ඇතුලත් කරන්න.

වැදගත්:

  • බ්ලොග් මැරතන් යනු කුමක්දැයි ඔබ තවමත් නොදන්නවානම්, මෙම ලිපිය ඔබට සහාය වනු ඇත.
  • Radio, Chat ආදිය සඳහා URL ලිපින ඉදිරියේදී මෙම බ්ලොග් අඩවිට හරහා ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බැවින් තවදුරටත් අප හා සම්බන්ධ වන්න.

සිංහල බ්ලොග් කියවනය සඳහා බැනර් කීපයක්

තම බ්ලොග් අඩවි වෙත පාඨක සමූහයක් සපයා දීමට කෘතඥතාව පලකරමින් ඇතැම් සිංහල බ්ලොග් අඩවි තම අඩවියේ සිංහල බ්ලොග් කියවනය සඳහා ලින්ක් එකක් පල කර ඇති ආකාරය අප දුටුවා. අපේ මගපෙන්වීමක් නැතිවම මෙන්ම ඇතැම් අය තමන් විසින්ම ඉමේජ සකසාගෙන මෙය සිදුකර තිබීම අප තවත් අගය කරනවා. ඒ නිසා අප කල්පනා කලා තමන්ගේ බ්ලොග් අඩවියේ සිංහල බ්ලොග් කියවනය වෙත බැනර් එකක් ප්‍රදර්ශනය කිරීමෙන් ලින්ක් එකක් දෙන්න කැමති අය සඳහා බැනර් කීපයක් ලබාදෙන්න. තමන්ගේ බ්ලොගයේ සයිඩ් බාර් එකේ ප්‍රමාණයට ගැලපෙන පරිදි සුදුසු ප්‍රමාණයකින් ඔබට බැනරය තෝරාගත හැකියි.

මේ බැනර් සඳහා HTML කේතය අප විසින් සපයා ඇති අතර ඔබට තියෙන්නේ ඔබේ බ්ලොගයේ අවශ්‍ය ස්ථානයට එය පිටපත් කරගැනීම පමණයි. Blogger හා WordPress වල සයිඩ්බාර් සඳහා මෙම කේත එකතු කිරීමට මෙම ක්‍රමය අනුගමනය කරන්න. මේ සඳහා මුලින්ම සයිඩ්බාරය සඳහා HTML Widget එකක් ලබාගත යුතුයි.

  • Blogger හි මේ සඳහා ඩෑෂ්බෝඩයෙන් බ්ලොගයේ Layout වෙත ගොස් අවශ්‍ය ස්ථානයේ ඇති Add a Gadget ක්ලික් කරන්න. ලැබෙන ලයිස්තුවෙන් HTML/JavaScript තෝරා ලැබෙන වින්ඩෝවේ අදාල කේතය සටහන් කර Save ක්ලික් කරන්න.
  • WordPress සඳහා ඩෑෂ්බෝඩයෙන් Apperence > Widgets වෙත ගොස් Text විජට්ටුවක් සයිඩ්බාරය වෙත ඇද දමා එහි මෙම කේතය සටහන් කර Save කරන්න.

තනි පේලියේ කුඩා ලින්ක් එකක් සඳහා

මෙය බ්ලොගයේ දිස්වනුයේ මේ ආකාරයටයි:

සිංහල බ්ලොග් කියවනය

120×85 ප්‍රමාණයේ බැනරය

මෙය බ්ලොගයේ දිස්වනුයේ මේ ආකාරයටයි:

සිංහල බ්ලොග් කියවනය

200×132 ප්‍රමාණයේ බැනරය

මෙය බ්ලොගයේ දිස්වනුයේ මේ ආකාරයටයි:

සිංහල බ්ලොග් කියවනය

මැරතන් බැනරය

සිංහල බ්ලොග් මැරතන් 2010 මේ අප්‍රේල් මාසයේදී පැවැත්වෙන බව ආරංචි වෙන්න ඇති නේ. [1] [2] ඉතින් මේ මැරතන් අවස්ථාව සඳහා නිර්මාණය වුනු බැජ් එකකුත් තියෙනවා. කැමති අයට එය ප්‍රදර්ශනය කරලා මැරතන් ඉසවුව ගැන ප්‍රචාරයක් ලබාදෙන්නත් පුලුවන්.

මෙය බ්ලොගයේ දිස්වනුයේ මේ ආකාරයටයි.

Sinhala Blog Marathon 2010

මේ හැර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙනුවෙන් ඔබ විසින් නිර්මාණය කරන ලද බැජ්/බැනර් ඇතහොත් ඒවා ප්‍රදර්ශනය කිරීම අප ඉතාමත් අගය කරන අතර ඒවා අන් අය සමග බෙදාහදා ගැනීම සඳහා මෙහි කමෙන්ට් ලෙස පලකරන ලෙසත් අප ඉල්ලා සිටිනවා.

මොකක්ද මේ බ්ලොග්-මැරතන්?

සිංහල බ්ලොග්කරුවන්ගේ ගූග්ල් සමූහයේ ඉන්න අය දන්නවා මේ දිනවල බ්ලොග් මැරතන් කියලා දෙයක් ගැන එහි කතාබහක් යනවා. ගොඩක් අයට මේක ගැටලුවක් වෙලා. මොකක්ද මේ බ්ලොග් මැරතන් කියන්නේ? මෙහෙම වීම පුදුමයක් නෙමෙයි, අවසන් මැරතන් එක පැවැත්වුනු පසුගිය වසරේ අප්‍රේල් මාසය වන විට සිංහල බ්ලොග් කියවනයේ තිබුනේ බ්ලොග් 200ක් පමණ සංඛ්‍යාවක්. මේ වන විට එය 700කට ආසන්න සංඛ්‍යාවක් බවට පත්වෙලා. අලුත් මුහුණු ගොඩක් අප හා එක්වෙලා.

බ්ලොග් මැරතන්  කියන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කරනු ලබන සුහද ඉසවුවක් යැයි කිව්වොත් නිවැරදියි. මේ සඳහා කොහේටවත් එක්රැස්වීම අවශ්‍ය නෑ. අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති තැනක සිට සම්බන්ධ වෙන්න පුලුවන්. බ්ලොග් ලියන අයට මැරතන් එකට සහභාගී වෙන්න පුලුවන් වගේම බ්ලොග් කියවන අයට මැරතන් එක බලන්න, මැරතන් දුවන අය දිරිමත් කරලා කමෙන්ට් දාන්න (අපි ඊට කියනවා ‘වතුර ගහනවා’ කියලා).

තවමත් කිව්වෙ නෑ නෙ මොකක්ද මේ ඉසව්වෙදි කෙරෙන්නෙ කියලා. බ්ලොග් මැරතන් එකකදි කෙරෙන්නේ ඊට සහභාගී වන සිංහල බ්ලොග් වල විනාඩි 15කට වරක් සිංහල යුනිකෝඩ් භාවිතයෙන් පෝස්ට් එකක් පල කිරීම තමයි. එතකොට හිතාගන්න පුලුවන් නේද මේකේ තරඟකාරී ස්වභාවය? එක දිගට ලිය ලියා පෝස්ට් කරන්න තමයි තියෙන්නේ.

පෝස්ට් ලිවීමේදී පෝස්ට් එකේ දිග පලල, මාතෘකාව ආදී දේවල් ගැන කිසිම සීමා නෑ. තමන්ට හිතෙන විදියට නිදහසේ ලියන්න තමයි තියෙන්නේ, හැබැයි ඔය සින්ඩිකේටරේ තියෙන ethics වලට අනුකූලව :) හරියටම විනාඩි 15න් 15ට දානවද කියලා අපි පොලීසියෙන් වගේ බලන්නෙත් නෑ. එහෙම කරන්න කියලා ඔබෙන් ඉල්ලනවා විතරයි. හැබැයි ඉතින් නියම විදියට විනාඩි 15න් 15ට අලුත් පෝස්ට් දැම්මොත් තමයි මේ ඉසවුවේ නියම රසය සතුට විඳගන්න පුලුවන් වෙන්නේ.

සමහරු මේ සඳහා තමන්ගෙ දැන් තියෙන බ්ලොග් එකම යොදාගන්නවා. මැරතන් එකේදී කෙටි කාලයකදී ලියන නිසා වැඩිපුරම වල්පල් ලියැවෙන නිසා ඒවායින් තමන්ගෙ බ්ලොග් එක හැඩි කරගන්න අකමැති අය මැරතන් එක සඳහා වෙනම බ්ලොග් එකක් පටන් ගන්නවා. මේ කැමති විදියකට මැරතන් එකට සහභාගී වෙන්න පුලුවන්. මැරතන් පවත්වන්න දෙසතියකට පමණ කලින් සිට අපි මැරතන් එක සඳහා සහභාගී වන බ්ලොග් අඩවි ලියාපදිංචි කරගැනීම අරඹනවා. මෙසේ ලියාපදිංචි වූ බ්ලොග් අඩවි වලට පමණයි මැරතන් එකට සහභාගී වෙන්න පුලුවන්.

ඊලඟට මැරතන් එක බලන්න එන අය සඳහා අපි වෙනමම සින්ඩිකේටරයක් ගොඩනංවනවා. (මේ සඳහා http://blogs.sinhalabloggers.com/ යොදාගැනෙන්නේ නෑ). මෙම මැරතන් සින්ඩිකේටරය විනාඩි 15කට වරක් අප්ඩේට් වන සින්ඩිකේටරයක්. මෙමගින් මැරතන් නරඹන අයට මැරතන් දුවන අයගේ ලිපි ඉක්මනින් බලාගන්න පුලුවන්. ඒ වගේම ඔවුන් දිරිමත් කරමින් වතුර ගහන්නත් පුලුවන්.

මැරතන් එක පැවැත්වෙන මුලු කාලය පුරාවටම සජීවී විශේෂාංග දෙකක් පැවැත්වෙනවා. ඉන් පලමුවැන්න තමයි IRC චැට් කාමරය. මෙය සමූහ චැට් කාමරයක්. එය විහිලු තහලු, මඩ, රසකතා පිරී ඉතිරී යන හමුවක් කිව්වොත් නිවැරදියි. දෙවැනි විශේෂාංගය තමයි සජීවී අන්තර්ජාල රේඩියෝවක් පැවැත්වීම. මෙමගින් ගීත, කතාබහ, විහිලු තහලු, මුලු බ්ලොග් මැරතන් ඉසවුව පැවැත්වෙන කාලය පුරාවටම විකාශය කෙරෙනවා.

මැරතන් වර්ග දෙකක් තියෙනවා. ලොකු මැරතන් එක තමයි පැය 24ක් පුරාවට නොකඩවා පැවැත්වෙන මැරතන් එක. අවසන් ලොකු මැරතන් එක පැවැත්වුයේ 2009 අප්‍රේල් මාසයේදී. දෙවැන්න තමයි මිනි-මැරතන් එක. එය පැවැත්වෙන්නේ පැය 6ක හෝ 12ක කාලයක්. අවසන් මිනි-මැරතන් එක පැවැත්වූයේ 2008 දෙසැම්බර් මාසයේදී.

මොකක්ද මේ මැරතන් එක පැවැත්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ කියන ප්‍රශ්නය කාට හෝ නැගෙනවනම්, ප්‍රථමයෙන් කියන්නට ඕන මෙය බ්ලොග්කරුවන් අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන සුහද ඉසවුවක් කියන එක. මෙවන් ඉසවුවක් සඳහා තම නිවසේ සිටම සම්බන්ධ විය හැකි වීම විශේෂ කරුණක්. ඊලඟට මෙය සිංහල යුනිකෝඩ් භාවිතයෙන් සිදු කෙරෙන මහා ඉසවුවක් නිසා යුනිකෝඩ් සඳහාත් පොඩි තල්ලුවක් ලැබෙනවා.  සිංහල යුනිකෝඩ් මෙන්ම සිංහල බ්ලොග්කරණයද ප්‍රචලිත කිරීමේ අවස්ථාව මෙමගින් ලැබෙනවා. ඒ වගේම සිංහල බ්ලොග්කරණය ගැන තවත් පිරිසකට උනන්දුවක් ඇති කර ඔවුන්ටත් මෙය හඳුන්වාදීමේ අවස්ථාවක් කරගන්නත් පුලුවන්.

ඊලඟ සිංහල බ්ලොග් මැරතන් එක අප්‍රේල් මාසයේදී පවත්වන්නටයි අප බලාපොරොත්තු වන්නේ. එය බොහෝ දුරට සෑමදෙනාගේම කාල පහසුව තකා මිනි මැරතන් එකක් වේවි. ඒ සඳහා දිනයක් නියම වූ වහාම ඒ බව මෙම බ්ලොග් අඩවිය හරහාත් ගූග්ල් සමූහය හරහාත් දැනුම් දෙනු ලබන අතර මැරතන් ඉසවුව සඳහා බ්ලොග් අඩවි ලියාපදිංචා කරගැනීම ඇරඹෙනු ඇති. ඔබත් මැරතන් දිවීමට බලාපොරොත්තු වෙනවා නම් සිංහල යතුරුලියන වේගය එහෙම දියුණු කරගන්න දැන් ඔබට ඇති තරම් කාලය තියෙනවා.

බ්ලොග් මැරතන් යන සංකල්පය අප වෙත ආවේ Blogathon වෙතින් බව අමතක කරන්නට බැහැ.

බ්ලොග්කරුවන්ට නොමිලේ වෙබ් ඉඩ හා ඩොමේන් එකක්.

සිංහල බ්ලොග්කරුවන් සදහා LKServers ආයතනය මගින් නොමිලේ වසරක් සදහා ඔබ කැමති ඩොමේන් නාමයක් හා වෙබ් ඉඩක් wordpress hosting සදහා 50 දෙනෙකුට ලබාදෙන බව අපිට දන්වා සිටියා.

ඔබට ලැබෙන පහසුකම්.

  • ඔබ කැමති ඩොමේන් නාමයක්. (.com. net .org .info etc)
  • ඔබටම වෙන්වූ cPanel ගිණුමක්
  • ගිගාබයිට් දහයක (10GB) වෙබ් ඉඩක්
  • ගිගාබයිට් සියයක (100GB) Monthly Bandwidth එකක්
  • SubDomain 10ක් එකතු කරගැනීමේ හැකියාව
  • ඊ-මේල් ගිණුම් 50ක්

කොන්දේසි

  • වසරකට පසු ඩොමේන් නමය සදහා මුදල්ගෙවීමක් කල යුතුවන අතර ප්‍රචාරක බැනරයක් තිබෙන තාක්කල් වෙබ් ඉඩ නොමිලේ සපයනු ඇත.
  • මෙම ලබාදෙන වෙබ් ඉඩ එක් WordPress බ්ලොග් එකක් සහ වෙබ් පිටු (Home Page etc;) සඳහා පමණක් යොදාගත හැක.
  • මෙම හොස්ටිං සේවාව File Hosting කටයුතු සඳහා භාවිතා කල නොහැක. (බ්ලොග් සටහන් වල​ට අදාල Files, Images ආදිය එක් ගොනුවක් උපරිම මෙගාබයිට් 20ක සීමාවකට යටත්ව හොස්ට් කල හැකියි)
  • LKServers.comහි ප්‍රචාරක බැනරයක් (Promoting Banner) ඔබගේ බ්ලොගය තුල ප්‍රදර්ශනය කරන්න සිදු වෙනවා. (මෙම බැනරය අදාල බ්ලොගයට ගැලපෙන පරිදි LKServers.com වෙතින් ලබාදෙනු ඇත.)
  • වසරක කාලය ගතවීමට ප්‍රථම මෙම Promo එකෙන් ඉවත් වුවහොත් හෝ ඉහත නීති උල්ලංඝනය වීමක් සිදුවුවහොත් නොමිලේ ලැබෙන හොස්ටිං ගිණුම අත්හිටුවෙන අතර, ඩොමේන් නාමයේ මුළු මුදල ගෙවා ඩොමේන් නාමය පමණක් ආපසු ලබාගත හැක.
  • සම්පූර්ණ සේවා සඳහා වූ නීතිමාලාව (TOS) සඳහා මෙම සබැඳියට යන්න.

මෙම සේවය ලබාගැනීමට http://www.lkservers.com/offer.php පුරුකට පිවිසෙන්න. වැඩි විස්තර සදහා support[atlkservers.com වෙත ඊමේල් කරන්න.

සැ:යු: මෙම සේවාවන් ගැන කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් දරනු නොලැබේ.