සිංහල බ්ලොග්කරුවන්ගේ ගූග්ල් සමූහයේ ඉන්න අය දන්නවා මේ දිනවල බ්ලොග් මැරතන් කියලා දෙයක් ගැන එහි කතාබහක් යනවා. ගොඩක් අයට මේක ගැටලුවක් වෙලා. මොකක්ද මේ බ්ලොග් මැරතන් කියන්නේ? මෙහෙම වීම පුදුමයක් නෙමෙයි, අවසන් මැරතන් එක පැවැත්වුනු පසුගිය වසරේ අප්‍රේල් මාසය වන විට සිංහල බ්ලොග් කියවනයේ තිබුනේ බ්ලොග් 200ක් පමණ සංඛ්‍යාවක්. මේ වන විට එය 700කට ආසන්න සංඛ්‍යාවක් බවට පත්වෙලා. අලුත් මුහුණු ගොඩක් අප හා එක්වෙලා.
බ්ලොග් මැරතන් කියන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කරනු ලබන සුහද ඉසවුවක් යැයි කිව්වොත් නිවැරදියි. මේ සඳහා කොහේටවත් එක්රැස්වීම අවශ්‍ය නෑ. අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති තැනක සිට සම්බන්ධ වෙන්න පුලුවන්. බ්ලොග් ලියන අයට මැරතන් එකට සහභාගී වෙන්න පුලුවන් වගේම බ්ලොග් කියවන අයට මැරතන් එක බලන්න, මැරතන් දුවන අය දිරිමත් කරලා කමෙන්ට් දාන්න (අපි ඊට කියනවා ‘වතුර ගහනවා’ කියලා).
තවමත් කිව්වෙ නෑ නෙ මොකක්ද මේ ඉසව්වෙදි කෙරෙන්නෙ කියලා. බ්ලොග් මැරතන් එකකදි කෙරෙන්නේ ඊට සහභාගී වන සිංහල බ්ලොග් වල විනාඩි 15කට වරක් සිංහල යුනිකෝඩ් භාවිතයෙන් පෝස්ට් එකක් පල කිරීම තමයි. එතකොට හිතාගන්න පුලුවන් නේද මේකේ තරඟකාරී ස්වභාවය? එක දිගට ලිය ලියා පෝස්ට් කරන්න තමයි තියෙන්නේ.
පෝස්ට් ලිවීමේදී පෝස්ට් එකේ දිග පලල, මාතෘකාව ආදී දේවල් ගැන කිසිම සීමා නෑ. තමන්ට හිතෙන විදියට නිදහසේ ලියන්න තමයි තියෙන්නේ, හැබැයි ඔය සින්ඩිකේටරේ තියෙන ethics වලට අනුකූලව
හරියටම විනාඩි 15න් 15ට දානවද කියලා අපි පොලීසියෙන් වගේ බලන්නෙත් නෑ. එහෙම කරන්න කියලා ඔබෙන් ඉල්ලනවා විතරයි. හැබැයි ඉතින් නියම විදියට විනාඩි 15න් 15ට අලුත් පෝස්ට් දැම්මොත් තමයි මේ ඉසවුවේ නියම රසය සතුට විඳගන්න පුලුවන් වෙන්නේ.
සමහරු මේ සඳහා තමන්ගෙ දැන් තියෙන බ්ලොග් එකම යොදාගන්නවා. මැරතන් එකේදී කෙටි කාලයකදී ලියන නිසා වැඩිපුරම වල්පල් ලියැවෙන නිසා ඒවායින් තමන්ගෙ බ්ලොග් එක හැඩි කරගන්න අකමැති අය මැරතන් එක සඳහා වෙනම බ්ලොග් එකක් පටන් ගන්නවා. මේ කැමති විදියකට මැරතන් එකට සහභාගී වෙන්න පුලුවන්. මැරතන් පවත්වන්න දෙසතියකට පමණ කලින් සිට අපි මැරතන් එක සඳහා සහභාගී වන බ්ලොග් අඩවි ලියාපදිංචි කරගැනීම අරඹනවා. මෙසේ ලියාපදිංචි වූ බ්ලොග් අඩවි වලට පමණයි මැරතන් එකට සහභාගී වෙන්න පුලුවන්.
ඊලඟට මැරතන් එක බලන්න එන අය සඳහා අපි වෙනමම සින්ඩිකේටරයක් ගොඩනංවනවා. (මේ සඳහා http://blogs.sinhalabloggers.com/ යොදාගැනෙන්නේ නෑ). මෙම මැරතන් සින්ඩිකේටරය විනාඩි 15කට වරක් අප්ඩේට් වන සින්ඩිකේටරයක්. මෙමගින් මැරතන් නරඹන අයට මැරතන් දුවන අයගේ ලිපි ඉක්මනින් බලාගන්න පුලුවන්. ඒ වගේම ඔවුන් දිරිමත් කරමින් වතුර ගහන්නත් පුලුවන්.
මැරතන් එක පැවැත්වෙන මුලු කාලය පුරාවටම සජීවී විශේෂාංග දෙකක් පැවැත්වෙනවා. ඉන් පලමුවැන්න තමයි IRC චැට් කාමරය. මෙය සමූහ චැට් කාමරයක්. එය විහිලු තහලු, මඩ, රසකතා පිරී ඉතිරී යන හමුවක් කිව්වොත් නිවැරදියි. දෙවැනි විශේෂාංගය තමයි සජීවී අන්තර්ජාල රේඩියෝවක් පැවැත්වීම. මෙමගින් ගීත, කතාබහ, විහිලු තහලු, මුලු බ්ලොග් මැරතන් ඉසවුව පැවැත්වෙන කාලය පුරාවටම විකාශය කෙරෙනවා.
මැරතන් වර්ග දෙකක් තියෙනවා. ලොකු මැරතන් එක තමයි පැය 24ක් පුරාවට නොකඩවා පැවැත්වෙන මැරතන් එක. අවසන් ලොකු මැරතන් එක පැවැත්වුයේ 2009 අප්‍රේල් මාසයේදී. දෙවැන්න තමයි මිනි-මැරතන් එක. එය පැවැත්වෙන්නේ පැය 6ක හෝ 12ක කාලයක්. අවසන් මිනි-මැරතන් එක පැවැත්වූයේ 2008 දෙසැම්බර් මාසයේදී.
මොකක්ද මේ මැරතන් එක පැවැත්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ කියන ප්‍රශ්නය කාට හෝ නැගෙනවනම්, ප්‍රථමයෙන් කියන්නට ඕන මෙය බ්ලොග්කරුවන් අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන සුහද ඉසවුවක් කියන එක. මෙවන් ඉසවුවක් සඳහා තම නිවසේ සිටම සම්බන්ධ විය හැකි වීම විශේෂ කරුණක්. ඊලඟට මෙය සිංහල යුනිකෝඩ් භාවිතයෙන් සිදු කෙරෙන මහා ඉසවුවක් නිසා යුනිකෝඩ් සඳහාත් පොඩි තල්ලුවක් ලැබෙනවා. සිංහල යුනිකෝඩ් මෙන්ම සිංහල බ්ලොග්කරණයද ප්‍රචලිත කිරීමේ අවස්ථාව මෙමගින් ලැබෙනවා. ඒ වගේම සිංහල බ්ලොග්කරණය ගැන තවත් පිරිසකට උනන්දුවක් ඇති කර ඔවුන්ටත් මෙය හඳුන්වාදීමේ අවස්ථාවක් කරගන්නත් පුලුවන්.
ඊලඟ සිංහල බ්ලොග් මැරතන් එක අප්‍රේල් මාසයේදී පවත්වන්නටයි අප බලාපොරොත්තු වන්නේ. එය බොහෝ දුරට සෑමදෙනාගේම කාල පහසුව තකා මිනි මැරතන් එකක් වේවි. ඒ සඳහා දිනයක් නියම වූ වහාම ඒ බව මෙම බ්ලොග් අඩවිය හරහාත් ගූග්ල් සමූහය හරහාත් දැනුම් දෙනු ලබන අතර මැරතන් ඉසවුව සඳහා බ්ලොග් අඩවි ලියාපදිංචා කරගැනීම ඇරඹෙනු ඇති. ඔබත් මැරතන් දිවීමට බලාපොරොත්තු වෙනවා නම් සිංහල යතුරුලියන වේගය එහෙම දියුණු කරගන්න දැන් ඔබට ඇති තරම් කාලය තියෙනවා.
බ්ලොග් මැරතන් යන සංකල්පය අප වෙත ආවේ Blogathon වෙතින් බව අමතක කරන්නට බැහැ.